Spread the love

නිවෙස් ගිනි තබා තර්ජනය කොට සිය දේශපාලනය නතර කළ නොහැකි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ කිසිදු බලවේගයකට සිය දේශපාලන ගමන නතර කළ නොහැකි බවයි. මැයි 09 වැනිදා සිය නිවස ගිනි තැබීම නිසා නව දේශපාලන පන්නරයක් ලැබු බවද ඇමතිවරයා කිවේය.


“පසුගිය 09 වැනිදා අරගලයේදී වැඩිම නිවාස සංඛ්‍යාවක් ගිනිබත් කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයේයි. ඔවුන්ට ඕන වුනේ ගම්පහ සිය ඡන්දදායකයින් බියපත් කොට ඔවුන්ව දේශපාලනයෙන් ඉවත් කිරීමටයි. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑ. ඒ නිසා ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සුදානම්.” යැයිද ඇමතිවරයා මෙහිදී කිවේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ රුපියල් මිලියන 395 ක් වැයකොට ඉදිකළ මිනුවන්ගොඩ නව තෙමහල් වෙළද සංකීර්ණය සහ රුපියල් මිලියන 20 ක වියදමින් ඉදිකළ මිනුවන්ගොඩ වනවදුල පරිශ්‍රය විවෘත කිරීම අවස්ථාවට ඊයේ (18) දින සහභාගි වෙමිනි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මිනුවන්ගොඩ නගර සභාවට අයත් ඉඩමක මිනුවන්ගොඩ නව තෙමහල් වෙළද සංකීර්ණය ඉදිකර ඇත. 2018 සැප්තැම්බර් මාසයේදී මෙහි වැඩ ආරම්භ කර ඇත්තේ 2022 අප්‍රේල් මාසයේදීයි.
පළමු මහලේ කඩ කාමර 35 ක්, දෙවන මහලේ කඩ කමර 35 ක් සහ තෙවන මහලේ කඩ කාමර 21 ක් බැගින්‍ සම්පූර්ණ කඩ කාමර 91 කින් මෙය සමන්විත වේ. මෙය වර්ග අඩි 180, 160, 120 වශයෙන් ප්‍රමාණ 3 කින් මෙහි කඩ කාමර ඉදිකර තිබේ.
මිනුවන්ගොඩ පැරණි වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 90 ක් ඇති අතර එම කඩ හිමියන් සදහා මෙම නව කඩ කාමර ලබා දීමට නියමිතයි.
මෙහි තුන්වෙනි මහලේ නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරයක් ද ඉදිකර ඇත. එහි විශාලත්වය වර්ග අඩි 2,100 කි. වාහන 40 ක් පමණ නැවැත්වීමට හැකි රථ ගාලකින්ද සමන්විතයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් “සියක් නගර” ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ වනවදුල පරිශ්‍රය ඉදිකර ඇත. දේශීය නිෂ්පාදන අලෙවි කුටි 12 කින් මෙය සමන්විතයි. මිනුවන්ගොඩ නගර සභාවට අයත් ඉඩමක මෙහි ඉදිකිරීම් කටයුතු 2021 වසරේ ආරම්භ කර ඇත.
මෙම උත්සවයට සමගාමිව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 100 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දිමද මෙහිදී ඇමතිවරයා විසින් සිදු කෙරිණි. එක් ළමයෙකු සදහා රුපියල් 2,500 ක් වටිනා පාසල් බෑගයක්, රුපියල් 2,000 ක් වටිනා පාවහන් ලබා ගැනීමට වචුචරයක්, රුපියල් 2,500 ක් වටිනා පාසල් උපකරණ ලබා දුන්නේය.