Spread the love

රුපියල් බිලියන 5.5 ක ආයෝජනයක් කරමින් නැගෙනහිර පලාතේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි. මඩකලපුව පුන්නකුඩා ප්‍රදේශයේ අක්කර 225ක් භූමි භාගයක ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය තුළින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ඉතිරියක් කර ගත හැකි බවද ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසුරිය මහතා පවසයි.
පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයේ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයෝජකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පසුගියදා ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවට එක් වු අවස්ථාවේ මෙම අදහස් පළකළේය.

ලොව පුරා වටිනාම සන්නම සහිත ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා ඇත. වැඩි වටිනාකමක් ඇති ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය රෙදි හා අමුද්‍රව්‍ය සියල්ල ම පාහේ විවිධ රටවලින් මේ වන විට ආනයනය කරයි. ඒ සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට අධික මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වේ.
මේ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ය මෙරට ඇගැළුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි හා අමුද්‍රව්‍ය නිෂ්පාදනය ඉලක්ක කරගත් පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය පිහිටුවීමට පියවර ගෙන ඇත.
ප්‍රථම අදියරය අක්කර 255 ක් පුරා විහිදුණු මෙම කර්මාන්ත උද්‍යානය සියලු පහසුකම්වලින් සමන්විතය. එහි මහා පරිමාණයේ කර්මාන්තශාලා සංකීර්ණ අටත් දහයත් අතර ප්‍රමාණයක් ස්ථාපිත කළ හැක.

නැගෙනහිර පළාත වෙනුවෙන් රජය වැඩිම පිරිවැයක් දරමින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මඩකලපුව පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය නම් කළ හැක. මෙම
ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය රුපියල් බිලියන 5.5 ක මුදලක් වැය කරයි. රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය ඉදිකිරීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් හි සංවර්ධනයක් ද අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා මෙම උද්‍යානයේ ප්‍රථම අදියර සක්‍රීය වීමත් සමග මෙරට ඇගැළුම් කර්මාන්තයට දේශීය අමුද්‍රව්‍ය එක් කර ගැනීමට අවස්ථාව ලැබීම පිළිබදව සතුටට පත්වන බව පැවසීය.
එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් විදේශයන්ට ගලා යාම නවතිනවා පමණක් නොව සම්පූර්ණයෙන් දේශීයව නිෂ්පාදනය කළ ඇගැළුම් ලෝක වෙළදපොල වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමි වේ.
එසේම නව රැකියා අවස්ථා පන්දාහක් පමණ ජනිත වන බවත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කටුනායක, බියගම, කොග්ගල හා සීතාවක වැනි ආයෝජන කලාප ආශ්‍රිතව ගොඩනැගී ඇති ආර්ථික හා සමාජීය සංවර්ධනය පුන්නකුඩා හා අවට ප්‍රදේශයන් හි ද අපේක්ෂා කරන බව සදහන් කරයි.
මේ වන විටත් දශක ගණනාවක් මෙරට ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කීර්තිමත් සමාගම් හතරක් මෙම උද්‍යානය සිය කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කැමැත්ත ඵලකර ඇතැයි පවසන එදිරිසූරිය මහතා, මේ වන විටත් ඔවුනට අවශ්‍ය ඉඩම් වෙන් කිරීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සදහන් කරයි. මෙහි ප්‍රථම කර්මාන්ත ශාලා සංකීර්ණය සදහා ගිවිසුම් ගත වීම ඉදිරි මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පවසයි.