Spread the love

කුඩාවැල්ල මධ්‍යම තුන්වෙනි බෝ කොටුව අසලදී අද (6) උදේ 7 ට පමණ ධීවරයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ අංක 35 ,මිහිර කඩේ ,කුඩාවැල්ල මධ්‍යම ,නාකුලුගමුව ලිපිනයේ පදිංචි කෝකු හැන්නදිගේ අරුණ කීර්ති නොහොත් මිහිර කඩේ සුද්දා නමැති 51 හැවිරිදි එක්දරු පියෙකි .
ඝාතනය සදහා සැකකරුවන් තිදෙනකු පැමිණ ඇති බවත් ඉකුත් අගෝස්තු 15 දා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මිනිස් ඝාතනයකට පළිගැනීමක් ලෙස මොහු ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය පවසයි .
කඩුවලින් කපා කොටා බරපතල තුවාල ලබා සිටි ධීවරයා වහා නාකුලුගමුව රජයේ රෝහලට ඇතුළත් කලද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
මියගිය අයගේ මෘතදේහය නාකුලුගමුව රජයේ රෝහලේ තැන්පත් කර තිබේ .
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි .
මෙම ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය (6) පැවැත්වීමට නියමිතව තිබුණි .
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති මහතාගේ අධීක්ෂණය අපරාධ අංශය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි