නිමල් රාජපක්ෂ-
ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී (Head of Commercial) ලෙස ගුවන් සේවා කර්මාන්තයේ දශක 3 කට අධික පළපුරුද්දක් හිමි දිමුතු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.
ගුවන් සමාගම්වල විකුණුම් කටයුතු, මූල්‍ය කළමනාකරණය, ආදායම් කළමනාකරණය සහ වාණිජ සැලසුම්කරණය සම්බන්ධයෙන් දීර්ඝ පළපුරුද්දක් හිමි ඒ මහතා මින් ඉදිරියට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම්, ආදායම් කළමනාකරණ හා සැලසුම් සහ අලෙවිකරණ කටයුතු භාරව කටයුතු කරනු ඇත.
නව තනතුරට පත්වීමට පෙර ඒ මහතා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, ඊට පෙර එම ගුවන් සේවයේ කළමනාකරණ තනතුරු සහ විදේශගත තනතුරු කිහිපයක සේවය කළේ ය. ඊට අමතරව ඒ මහතා මැද පෙරදිග සහ ඉන්දියානු ගුවන් සමාගම්
කිහිපයක දේශීය කළමනාකරු ලෙස කටයුතු කර තිබේ.
අභියෝගකාරී අවස්ථාවලදී පවා විකුණුම් කටයුතු පූර්ණ පරිවර්තනයකට ලක් කරමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති දිමුතු තෙන්නකෝන් මහතා නව්‍ය
හා ප්‍රතිඵල පදනම් කරගත් වාණිජ ක්‍රමවේදයන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් කීර්තියක් දිනා සිටී. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් සිය ප්‍රථම උපාධිය සහ Buckinghamshire New University වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ජාත්‍යන්තර පශ්චාත් උපාධියක් ලබා ඇති දිමුතු තෙන්නකෝන් මහතා ශ්‍රී
ලංකා ගුවන් සේවා නියෝජිත මණ්ඩලයේ (Sri Lanka Board of Airline Representatives) සභාපති ලෙසද කටයුතු කරයි.