Spread the love


මාතර – නුවන්
මෙරට අධ්‍යාපනය හදාරන ලක්ෂ හතලිස් දෙකකට ආසන්න දරුවන් බාලදක්ෂ ව්‍යාපාරය තුළට යොමු කර ගැනීමේ අරමුණින් ‘සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය‘ ස්ථාපත කළ බව එහි සභාපති, ආචාර්ය ඩබ්ලිව් චම්පික රෝෂන් ලෝව් මහතා පැවැසීය.


වසර දෙකක් ඇතුළත තම නව ව්‍යාපාරය සඳහා සමාජිකයන් ලක්ෂයක් ඉක්ම වූ පිරිසක් එක්කර ගන්නා බව හෙතෙම කීවේය.
‘‘සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය‘‘ ස්ථාපත කිරීමේ අරමුණ පැහැදිළි කිරීම වෙනුවෙන් ගල්කිස්ස හොටෙල් හවුස්චන්ද්‍රාහි පෙරේදා (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් චම්පික රෝෂන් ලෝව් මහතා මේ බව සඳහන් කළේය.


ඒ අනුව එම ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ජනගත කිරීම සඳහා ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනයේ (World Federation OF Indipendent Scout) සභාපති Klaus Albert Tegeder මහතා ලංකාවට පැමිණ සිටින බවද හෙතෙම කීවේය.


සිය ව්‍යාපාරය වසර දෙකකට අධික කාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වූ බවත් එහෙත් එහි නිල වශයෙන් ප්‍රධාන කොමසාරිස්වරයා පත් කිරීම Klaus Albert Tegeder මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවත් ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ එක්ව සිටිමින් ලබාගත් දැනුම උපයෝගි කරගනිමින් නව ව්‍යාපාරය තමන් ආරම්භ කළ බව පැවැසූ ඒ මහතා බාලදක්ෂ ව්‍යාපාරය තුළ අද්දැකීම් ලබාගෙන ඇති සිය දියණියන් දෙදෙනා ජාත්‍යන්තර හා වැඩසටහන් කොමසාරිස් වරුන් ලෙස කටයුතු කරන අතර අනෙක් තනතුරුද කඩිනමින් පත්කරන බව පැවැසීය


මේ වන විට බාලදක්ෂ ව්‍යාපාරය සංවිධාන තුනක් යටතේ ලෝකයේ ක්‍රියාත්මක වන බවත් එංගලන්තය, ජිනීවා හා ජර්මනිය කේන්ද්‍ර කරගනිමින් එම සංවිධාන ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ලෝව් මහතා කීවේය.

සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. අපි මේ වන විට සමාගම් මැඳුර තුළ ආයතනයක් ලෙස මෙම ආයතනය ලියාපදිංචි කර කොරෝනා වසංගතය කාලයෙයි ආරම්භ කළේ. මේ වන විට අපේ ව්‍යාපාරය තුළ නිල ඇඳුම අදින 2000ක් පමණ සාමාජික සාමාජිකාවන් ඉන්නවා.ඔවුන් විවෘත කණ්ඩායම් ලෙස ගුරුවරයෙකු යටතේ පුහුණුවීම් ලබනවා. අපිත් ඉදිරියේ දී ජනාධිපති පදක්කම ලබා දීමට කටයුතු කරනවා.ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. එම නිසා අපි දරුවන්ගෙන්, සමාජයෙන් ඉල්ලා සිටිනවා අප සමඟ එක් වෙන්න කියළා.