Spread the love

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහත යාම සහ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීමේ ධාරිතාව උපරිම මට්ටමට ළග වීම මත මීළග සංශෝධනයේ දී තෙල් මිල සහ විදුලිය බිල පහත දැමීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්ප පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමිනි. අදාළ සංශෝධනය මගින් දැනට පවතින් 15%ක වැට් බදු සීමාව 18% දක්වා ඉහළ නැංවීම සහ භාණ්ඩ 97ක වැට් බදු නිදහස් ඉවත් කිරීම සිදු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙම සංශෝධනය මගින් රාජ්‍ය ආදායම 1.2%කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන අතර එය රුපියල් බිලියන 378ක් බව අමාත්‍යවරයා පැවැසීය.

සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් මීට පෙර වැය කළේ රුපියල් බිලියන 65ක් පමණ වන අතර එය ලබන වසරේ දී රුපියල් බිලියන 209 දක්වා ඉහළ නැංවීමට යෝජිත ය. මීට පෙර ඒ සඳහා ලෝක බැංකු ආධාර හිමි වුව ද ලබන වසරේ සිට එම මුදල් රජය විසින් උපයා ගත යුතු ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

දැනට 9.1% මට්ටමේ සීමාව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂාව රාජ්‍ය ආදායම 2024 වසරේ දී 12.5% මට්ටමට රැගෙන යාම රජයේ අපේක්ෂාවයි. 2025 වසර වන විට එම සීමා 15% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත අතර ඒ සඳහා වන ආර්ථිකමය ප්‍රතිසංස්කරණ සිදු කෙරමින් පවතියි. මීට පෙර 20% – 80% අනුපාතයේ පැවැති ඍජු සහ වක්‍ර බදු අනුපාත අද වන විට 30%-70% මට්ටමට පැමිණ ඇතැයි පෙන්වා දෙන සියඹලාපිටිය මහතා සඳහන් කළේ එය තව දුරටත් සංශෝධනය කිරිමේ යෝජනා මෙවර අයවැයට ද ඇතුළත් බවයි.

විවිධ පාර්ශ්ව වැට් බද්දට අලුතින් යටත් කළ භාණ්ඩ විවිධ හේතු කියමින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය ද ඉතිහාසයේ ගනු ලැබූ එවැනි පැලැස්තර විසඳුම් ආර්ථික පරිහානියට පත් රටක් බිහි කිරීමට හේතු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් පාසල් උපකරණ, සහල්, පිටි, තිරිගු, එළවළු සහ කිරි ඇතුළු ද්‍රව්‍ය රැසක් තව දුරටත් වැට් බද්දෙන් නිදහස් බව ඔහු කියා සිටියේ ය.

මෙම සංශෝධනයත් සමග උද්ධමනය 1.5% සිට 2% දක්වා ඉහළ යාමේ හැකියාව ඇති බව ද අමාත්‍යවරයා මෙහෙ දී පැවැසීය.