Spread the love

ගිරාඳුරුකෝට්ටේ හොබරියාව හරහා රත්කිද මාර්ගයේ බඩ ඉරු ගොවිපළ අසල කෝසුවෙන් එතෙර වීමට ගිය ත්‍රීරෝද රථයක් සැඩ පහරට හසුව දියේ ගසාගෙන ගොස් ඇත. ත්‍රිරෝද රථයේ රියදුරද එම සැඩ පහරට හසුව දියේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇත.

පසුදින කරන ලද සෝදිසියට අනුව කෝසුවේ සිට මීටර පන්සියයක පමණ දුරින් දැඩි ලෙස අබලන් වූ තීරෝද රථය හමුවී ඇත.කෝසුවේ සිට කිලෝමීටර දෙකක පමණ දුරින් ත්‍රී රෝද රථයේ රියදුරුගේ මළසිරුර ගසක තිබී හමුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හොබරියාව තේක්ක වැටිය 445,ලිපිනයේ පදිංචි එච්.එම් .ලාල් පෙරේරා නැමති අයෙකි.ඔහු පෞද්ගලික විදුලි බලාගාරයක සේවකයෙකි.

මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා උල් හිටිය රත්කිඳ නිවුන් ජලාශයේ වාන් දොරටු නිතර නිතර විවෘත කෙරෙන අතර සිද්ධිය වූ දිනයේ ද ජලාශයේ වාන් දොරටු හතම මීටර 0.3,බැගින් විවෘත කර ඇත.

දශක හතරක පමණ කාලයක් තිස්සේ මෙම කෝසුව හරහා රත් කිඳ ගම්මානයේ ජනතාව ගිරාදුරුකෝට්ටේ නගරයට පැමිණෙන්නේ තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි.

වැසිකාලවලදී තමන් දැඩි ලෙස පීඩාවට ලක්වන බවටරත්කිඳ ගම්මාන වාසීන් පවසති. මෙම කෝසුව වෙනුවට පාලමක් ඉදිකිරීමට සුදුසුම කාලය මෙය බව ජනතාව පවසයි.