Spread the love


නිමල් රාජපක්ෂ-

මෙරට තල්, කිතුල් සහ පොල් ගස් මැඳීන්නන්හට හා ගෙඩි කැඩී කඩන්නන් සදහා සති දෙකක පුහුණුවක් ලබා දී ජාතික ආධුනිකත්ව මණ්ඩලය ලබා දෙන ජාතික වෘත්තිය නිපුණතා-03 (NVQ -3) මට්ටමේ සහතිකපතක් ලබාදීමට කටයුතු කරන බව තල් සංවර්ධන මණ්ඩල යේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම මෙන්ම ගෙඩි කැඩීම ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විදිමත් වැඩ පිළිවෙළක් යොදන්නැයි අමාත්‍යවරයා තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩලවල සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව අදහස් පළ කළ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා එම පුද්ගලයින්ගේ ජීවිතාරක්ෂාව හා සුබසාධනය උදෙසා මෙම NVQ-3 මට්ටමේ සහතික පතක් හා සති දෙකක පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා ඇති බව දැනුම් දුන්නේය.

මීට අදාල පුහුණුව යටතේ ගස් බඩගෑම කරන අවස්ථාවේ හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ඨන හා ගසෙන් ඇද වැටීම මගින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණුවක් ලබා දෙනු ලබයි.

එමෙන්ම මෙම කටයුතුවල නිරතවන පුද්ගලයින්ට ස්වයං රැකියාවක් හෝ ව්‍යවසායකත්ව හැකියා වර්ධනය සඳහා සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය ආධාරයක් ලබා දීමට ද මේ වනවිට සැළසුම් කර ඇත.

මීට අමතරව තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම හා ගෙඩි කැඩීම වැනි කටයුතුවල නිරත පුද්ගලයින්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් එම වැඩ පිළිවෙළ සකස් කිරීමට යෝජිතය.