Spread the love

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය නීතිමය රාමුව සැකසීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය තුළ පවතින ප්‍රමාදය හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න ආයෝජනයක් නොලැබී යාමට හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ප්‍රමාදය හේතුවෙන් රටට අහිමි විය හැකි ආයෝජන දළ වටිනාකම රුපියල් කෝටි 65,000කට අධික බව ද හෙතෙම කීය.

මාස ගණනාවක් විදේශීය ආයෝජකයන් වරාය නගරය තුළ තම මුදල් ආයෝජනය සිදු කිරීම සදහා බලා සිටිය බව ත් මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් නොගතහොත් ඒ සියලු ආයෝජකයෝ ඉවත්වීමේ අවදානමක් පවතින බව ත් ඔහු සඳහන් කළේ ය.

වරාය නගරය තුළ සම්පූර්ණ ඉඩම් කොටස් 118ක ආයෝජන පවතින බව ත් ඒ අතර සම්පූර්ණ ව්‍යාපාර කටයුතු සඳහා අලෙවි කළ හැකි බිම් කොටස් 74ක් හා පොදු කටයුතු සඳහා භාවිත කළ හැකි බිම් කොටස් 44ක් පවතින බව ත් ඔහු පැවසීය.

මේ වන විට වරාය නගරය තුළ සමස්ත ඉදිකිරීමේ යම් ප්‍රගතියක් ලබා තිබුණ ද ආයෝජනයට බලපාන නීතිමය කටයුතු සම්බන්ධයෙන් රජය අවධානය නොදුනහොත් රටට එම ආයෝජන අහිමි විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

වරාය නගරයට අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක ආයෝජන ලැබී ඇති නමුත් නීතිමය රාමුවක් සකස් කරන තුරු ඔවුන්ට බලා සිටීමට සිදු වූ බව ද ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පැවසීය.

ඒ අනුව, එම නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත් මෙහෙයුම් රෙගුලාසි කිහිපයක්ද සකස් කිරීමට ඇති බවත් හෙතෙම කීය.

වරාය නගරය තුළ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය මෙහෙයුම් රෙගුලාසි කිහිපයක් සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇති බව ත් ඒ අනුව ඉදිරියේදී මෙම ආයෝජන ආරම්භ කළ හැකි බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.