ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් “එට්කා” කියන විට “ඉක්කා ගහන” තත්ත්වයට පත්ව ඇති බවත් මිල්කෝ සමාගම, ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීම ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු නොකිරීම පමණක් ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා ටෙන්ඩර් කර හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම නිවැරදි දැයි ප්‍රශ්න කර සිටියි.
පිළියන්දල, සුවාරපොළ දී පැවති “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?” යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“ටාටා – අදානි – අමුල්” සූදානම්!
“මේ ආර්ථික අර්බුදය ඇතුළේ විදුලි බල මණ්ඩලය කොටස්වලට කඩලා විකුණන්නයි සූදානම. ඒක ගන්න ඇවිල්ලා තියෙන්නේ ටාටා, අදානි ඇතුළු මහා ඉන්දියානු සමාගම්වලින්. මේකෙන් අවසානයේදී වෙන්නේ ඉන්දියාව අතට අපේ රටේ විදුලිය නිපදවීමේ සහ බෙදාහැරීමේ බලය යන එක. ඊට පස්සේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් ඉන්දියාව අසතුටු අයෙකු බලයට ආවොත් ඔවුන්ට මේ ‘විදුලි බලය’ සමඟ ලැබෙන ‘හයියෙන්’ ඒ පාලකයාව එළවා දමන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළුවොත් එවැනි ඉරණමකට ශ්‍රී ලංකාව පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ටෙලිකොම් සමාගම සතු රජයේ කොටස් මිලදී ගන්න හදන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ ගජ මිතුරෙකු වන අදානි. මේක එතැනින් නතර වෙන්නේ නැහැ; ඉන්දියානු අමුල් සමාගම මිල්කෝ සමාගම පමණක් නොවෙයි පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සතු සරුසාර ගොවිපොළවල් 33ක් සමග මෙරට ඉඩම් අක්කර 28,000ක් අත්පත් කරගැනීමට සූදානමින් ඉන්නවා.