Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී තිබේ.

එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත.

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.

ඒ අනුව ඉදිරි මැතිවරණයන්ට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අතර ජනාධිපතිරණය සම්බන්ධයෙන් මත දෙකක් පැවතීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණයවී ඇති බවද වාර්තා වෙයි.

ඉදිරියේදී නැවතත් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවේදී සියලුදෙනා එක් මතයක් තුළට ගොනු කිරීමට හැකිවනු ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.