Spread the love


නිමල් රාජපක්ෂ-

සෝදා පිරිසිදුකර නියමිත ප්‍රමිතියට සකස්කරනු ලබන මුහුදු වැලි කියුබ් එකක් මහජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමට කටයුුතු කෙරේ. එම ක්‍රියාවලිය සදහා මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි පොම්ප කිරීම සිදුකරනු කරන අතර සාධාරණ මිලකට මුහුදු වැලි ලබාදීමට කටයුතු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී තිබේ.
මෙම මුහුදු වැලි කැණීමේ ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන ධීවරයන්ට බලපෑම් සිදුවන බවට හඳුනාගෙන තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දුන්නේ එලෙස බලපෑමට ලක්වන ධීවර ප්‍රජාවගේ උන්නතිය සඳහා එම ධීවර ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමට අදාළව ධීවර සහ ජලඡ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලෙසය. ඊට පෙර දේශපාලන අධිකාරිය, ප්‍රදේශයේ ආගමික නායකයන් මෙන්ම ධීවර සමිතිද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද හෙතෙම උපදෙස් දුන්නේය.
එමෙන්ම එම ධීවර ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ලබාදීමටද එකඟවී තිබේ. එම මුදල් විනිවිද බවින් යුතුව අත්‍යාවශ්‍ය පුද්ගලයන් වෙතම ලබාදීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිළධාරීන්ට දැඩිව අවධාරණය කළේය.
මුහුදේ සිට නළ මඟින් පොම්ප කරන වැලි ගොඩබිම අදාල ස්ථානයට ගෙන ඒම, වැලි කඳු ලෙස විවෘත එළිමහනේ ගබඩා කිරීම, යන්ත්‍රයට වැලි ඇතුල් කිරීම, සේදීම, පිරිසිදු කිරිම, තේරීම සහ වේලීම යන අංශවලට යොමු කෙරෙනු ඇත.
එලෙස සෝදා පිරිසිදුකර වියලා හලා ගන්නා ලවණ රහිත මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත නියමිත ප්‍රමිතියට සකස් කරනු ලැබේ. අනතුරුව එම මුහුදු වැලි කෙරවළපිටිය – මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතය.
මුහුදු වැලි ලබා ගැනීමට පෙර වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාරා ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ඒ සම්බන්දයෙන් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගන්නා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.