Spread the love

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් පවත්වන්නැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා පැවසුවේ මේ සිදුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියකට පත්ව ඇති බවයි.

“මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් කරලා සත්‍ය තොරතුර අනාවරණය කළ යුතුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වෙද්දී මේ හේතුව නිසා යම් කම්පනයකට සහ බියට ලක්වෙලා ඉන්නවා තමන්ගේ රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කිරීම නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා?”

ඇල්පිටිය, පතිරාජවත්ත ප්‍රදේශයේ අද පෙරවරු 7.35ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා සිය නිවස තුළදීම ඝාතනයට ලක්වුණි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් නිවසට ඇතුළුවී වෙඩිතබා තිබුණි.

තිදරු පියෙකු වූ ඔහු මියයන විට 51 හැවිරිදි වියේ පසුවිය.

එම අපරාධය සිදුකර ඇත්තේ ඔහු සිය පුත්‍රයා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට රැගෙන යාම සඳහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේදීය.

කිසියම් අයෙකු පැමිණ ගෙමිදුලේ සිට කතාකරන හඬ ඇසී ඔහු නිවසේ දොර විවෘත කර ඇති අතර ඒ අවස්ථාවේ වෙඩික්කරුවන් පිස්තෝල ගිනි අවියකින් වෙඩිතබා පළාගොස් තිබේ.

මියගිය ඩබ්ලිව්.ඩී. රෝෂන් කුමාර නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස රාජකාරී කළේය.ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකෙරුණි.