Spread the love

තමිල්නාඩුවේ ප්‍රචලිත මාරාන්තික ක්‍රීඩාවක් සේ සැලකෙන ජල්ලි කට්ටු තරග විධිමත් තරගයක් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතාගේ මුලිකත්වයෙන් ත්‍රිකුණාමලයේ සාම්පුර් ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ.

ගොනුන් සහ මිනිසුන් සම්බන්ධවී සිදුකෙරෙන ක්‍රීඩාවක් වන මෙය ඉන්දියාවේ තමිල්නාඩුවට ආවේනික සාම්ප්‍රදායික ක්‍රීඩාවකි.

ජල්ලි කට්ටු තරග තමිල්නාඩුව හැර වෙනත් රටක පැවැත්වූ ප්‍රථම අවස්ථාවද මෙය වන බව පැවසේ.

මේ අවස්ථාවට ආරාධිතයන් ලෙස මැලේසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩටුක් මුරුගන් , තමිල්නාඩු ජල්ලි කට්ටු සුබසාධක සංගමයේ ලේකම් ඔන්ඩිරාජ් ඇතුළු විදේශීය ආරාධිත අමුත්තන් ද සහභාගි වී ඇත.
මේ තරග සඳහා ගොනුන් හා ගොනුන් හිමිකරුවන් සිය ගනනක් සහභාගි වූ බව වාර්තා විය.
ජල්ලි කට්ටු යන්නෙන් කාසි පොට්ටනිය යන අර්ථය දෙයි.

ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරණු ලබන ඉතා අවධානම් සහගත ක්‍රීඩාවකි මෙය.

කහපාට රෙදි කඩකින් සෑදූ කාසි සහිත පොට්ටනියක් ගවයාගේ බෙල්ලේ එල්ලා දිව යන ගවයා ලුහුබැඳ දිවගොස් පොරබදා එය ලබාගත යුතුය.

තයිපොන්ගල් උත්සවය නිමිත්තෙන් පවත්වන මේ ක්‍රීඩාව මුනිස්වර දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමට කෙරෙන බව හින්දු ආගමිකයෝ පවසති . ඉන්දියාවේ මෙම ක්‍රීඩාවට වසර 2000 ක පමණ ඉතිහාසයක් ඇතැයි කියති.ගවයන් හීලෑකිරීමේ මේ ක්‍රීඩාව ඉන්දියාවේ ප්‍රභූවරුන් විසින් තම දියණියන්ට ශක්තිමත්,එඩිතර මනාලයෙක් තෝරා ගැනීමට භාවිතා කර තිබේ.එය පසුව ක්‍රීඩාවක් ලෙස භාවිතයට එක්ව ඇත.

තමිල්නාඩුව මේ ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධය. පසුගිය කාලයේ පිටපිටම මෙම සෙල්ලමෙන් එහි ක්‍රීඩකයන් ගණනාවක්ම මිය ගියහ. මේ නිසා සත්ත්ව හිංසා චෝදනා මත 2014 දී සෙල්ලම තහනම් විය. නමුත් ඒ සඳහා පැවැති ජන විරෝධය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරන තැනට පත්විය . එහෙත් පසුව මේ විරෝධතාව ඉවත් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයද මේ තහනම ඉවත් කළහ.

මේ නිසා ඉතා උත්කර්ෂවත් ලෙස සෙල්ලම පැවැත් විණි. නමුත් මෙම තරගවලදී මිනිසුන් කීප දෙනෙක්ම මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබීම දැන් සාමාන්‍ය තත්වයකි.

ගවයාට ද මහත් සේ හිංසාකාරී වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව පසුගිය කාලයේ උතුරේ ස්ථාන කිහිපයකදී සුළු ලෙස පවත්වා ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබිණි.

ජල්ලි කට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාල ලැබීම හෝ මිය යාමයි.බොහෝ රටවල මෙය තහනම් ක්‍රීඩාවකි.

ගවයාගේ අංවලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුලය

ශ්‍රී ලංකාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්‍රීඩාවන් පැවැත්වීම තහනම්ය.

සූදුවට ඇබ්බැහි වී සිටින ඇතැම් පිරිස් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි බවත් දේවත්වයෙන් සලකන ගවයාට හිංසා කිරීම අනුමත කල නොහැකි බවත් මෙම ක්‍රීඩාවට විරුද්ධ පිරිස් පවසති.

වත්මන් නැගෙනහිර ආන්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා ජල්ලි කට්ටු ක්‍රීඩා ලෝලියෙකි.

පසුගිය වසරේ තයිපොන්ගල් උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ පැවති ජල්ලි කට්ටු තරගයට සෙන්දිල් තොන්ඩමන් මහතා ඔහුට අයත් ගොනුන් දෙදෙනෙකු සහභාගී කරවා එයින් එක ගොනෙකුට රන් පදක්කමක් හිමිවූ බවද එවකට වාර්තා විය.