Spread the love


නිමල් රාජපක්ෂ-

බරපතල ආර්ථික අර්බුදයකින් මිදීම සඳහා සොයන පිළිතුරු කෙටි කාලීන නොව දිගු කාලීන විය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව දේශීය ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ 138ක් අතුරින් භාණ්ඩ 97ක් ඉවත් කිරීම පිළිබඳ යළි සොයා බැලීමක් කිරීමට සූදානම් වෙයි.
වැට් බද්දට අදාළ නොවූ භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීමෙන් රජය රුපියල් බිලියන 378ක ආදායමක් අපේක්ෂා කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මේ වන විට 9.2%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2024 වසරේ දී 12% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා මෙම වැටි බදු සංශෝධනය ඉහළ නැංවීමට තීරණය කළේ ය. ඒ අනුව මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ භාණ්ඩ 97ක් ඊට යටත් කෙරිණි.

2023 වසරේ දී රුපියල් බිලියන 187ක් වූ සුබ සාධන වියදම 2024 වසරේ දී බිලියන 207ක් දක්වා ඉහළ නංවා තිබේ. මීට අමතරව රාජ්‍ය ආදායමෙන් 70%ක් ණය පොලිය ලෙස නැවත ගෙවිය යුතු ය. වසර ගණනක් තිස්සේ කෙටි කාලීන පැලැස්තර විසඳුම් ලබා මෙම ගැටලුව සඳහා දීර්ඝ කාලීන තිරසාර විසඳුමක් ලබා ගැනීමේ අවස්ථාවට රට එළඹ ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමට රජය සූදානම් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය. සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ දේශීයි ආහාර නිෂ්පාදනයට වැට් බද්දට ඇතුළත් කිරීම සඳහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි