Spread the love

නිමල් රාජපක්ෂ-නාගොඩ සුමන

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව එකොළොස්වන (11) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (12) ආරම්භ වූ අතර, Emerging New Order in the Indian Ocean යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා රටවල් 42 ක සහ ජාත්‍යන්තර සංවිධාන 11 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වුහ.

සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාවය වෙනුවෙන් පවත්නා ගෝලීය නීතිමය රාමුව සහ බහුපාර්ශ්වික සමුද්‍රීය සහයෝගීතාවයන් අභියෝගයට ලක්වෙමින් සාගරික වපසරිය තුල, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජනයන් ලෙස සැලකෙන මුහුදු මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ජාවාරම්, මිනිස් ජාවාරම්, අනවසර සංක්‍රමණ සහ නීති විරෝධී නියාමනය නොවූ හා වාර්තා නොවන ධීවර කටයුතු මෙන්ම, සමුද්‍රීය සම්පත් සූරාකෑම, සමුද්‍රීය දූෂණය, සමුද්‍රීය අනතුරු සහ සමුද්‍රීය පාරිසරික පද්ධතියට සිදුවන හානිදායක තත්වයන් ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අතර, එම සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජනයන් ඉන්දියානු සාගර කලාපය වෙතද පැමිණ ඇත.

එවන් පසුබිමක, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සහතික කරමින්, සමුද්‍රීය ආර්ථික අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සාමූහික ප්‍රවේශයක් ස්ථාපිත කිරීම වෙනුවෙන්, ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දීය සාගරයට මුහුණලා ඇති වෙරළාශ්‍රිත රාජ්‍යයන් සහ ඉන්දීය සාගරය භාවිතා කරනු ලබන සියළුම සමුද්‍රීය පාර්ශ්වකරුවන් හට සුවිශේෂී සාමූහික වගකීමක් පැවරී ඇත. ගාලු කථිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මඟින්, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ උපාය මාර්ගික ක්‍රමෝපායන් මෙන්ම හමුදාමය නිෂ්පාදන සහ එම ක්ෂේත්‍රයේ නව නිපැයුම් සම්බන්ධයෙන් සියළුම සමුද්‍රීය පාර්ශවකරුවන් හට එකම වේදිකාවක අදහස් හුවමාරු කර ගැනීමටත්, විසඳුම් සෙවීමටත් ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කරදෙනු ලබයි.

මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ දේශනය පවත්වමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගාලු කථිකාවත සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය සඳහා පැමිනීම සම්බන්ධයෙන් ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදීත්වය පල කරමින්, එම අවස්ථාව සඳහා සහභාගී වන, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු සියළුම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන කාර්ය භාරය අවධාරණය කරමින් හරවත් දේශනයක් පැවැත්වීම සිදුකෙරිණි.

මෙහිදී ප්‍රධාන දේශනය සිදුකල ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා , කොවිඩ් වසංගතය හේතුවෙන් අඛණ්ඩව සිදුකිරීමට නොහැකිවූ ගාලු කථිකාව, නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත සිය ප්‍රසාදය පලකිරීමට කටයුතු කෙරිණි. එහිදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් අමතමින් හරවත් දේශනයක් පැවැත්වූ ගරු ජනාධිපතිතුමන්, ඉන්දු ශාන්තිකර කලාපය සහ ඉන්දීය සාගර කලාපය ඔස්සේ නිර්මාණය වන වත්මන් භූ දේශපාලන ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින්, Emerging New Order in the Indian Ocean යන ගාලු කථිකාව – 2023 තේමාව විග්‍රහ කරගත යුතු බව පවසමින්, ජාත්‍යන්තර සම්බන්ධතා හා භූදේශපාලන වෙනස්වීම් පිලිබඳ කාලීන වශයෙන් ඉතාමත් වැදගත් හා හරවත් දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.