Spread the love

ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක පවතින කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂයක තොගයක් මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමේ සූදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

රේගු නිලධාරින් පිරිසක් විසින් එම කන්ටේනර් නිකුත් කිරීම සඳහා කොමිස් මුදලක් ඉල්ලීම හේතුවෙන් එය ලබා නොදීමේ තත්ත්වය තුළ එම නිලධාරීන් කන්ටේනර් මුදාහැරීමට කටයුතු නොකරන බවට චෝදනා එල්ලවෙයි.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් “අද දෙරණ” රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එම කිරිපිටි බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් එය ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හරහා විසඳාගත  යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර දේශීය කිරිපිටි සමාගම් වසාදැමීමේ කුමන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

ආනයනය කරනු ලබන කිරිපිටි තොග නියමිත පරිදි රේගුවෙන් නිදහස් නොකර ඒවා ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ උත්සාහයක නිලධාරීන් නිරත වෙමින් සිටින බවට ඔවුන් චෝදනා කරයි.