Spread the love

මෙරට කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශණය කර ගැනීම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට මෙම වසර තුළ රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා නාගොල්ලාගම රත්මලේ ප්‍රදේශයේ ජීවත්වන තරුණයෙක් වන සංජීව අමරකෝන් මහතා විසින් ආරක්ෂිත ගෘහ කිහිපයක වගා කර ඇති මාළු මිරිස් හා තක්කාලි වගාවන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා-පසුගිය දිනවල අපේ රටේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගියා. වර්ෂාව නිසා එලවළු වගාවන් බහුතරයක් විනාශ වුනා. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දුන් ආරක්ෂිත ගෘහයන් තුළ වගා කිරීම නිසා රටට අවශ්‍ය එළවළු යම් ප්‍රමාණයකින් හෝ වෙළෙඳ පොලට ආවා.

අපි 2023 වර්ෂයේත් ආරක්ෂිත ගෘහ තුළ වගාව ප්‍රචලිත කිරීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කළා. විශේෂයෙන් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙන්ම අපේ විදේශ ව්‍යාපෘති යටතේත් අපි මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. ඒ අයුරින් 2024 වර්ෂයේත් අපි ආරක්ෂිත ගෘහ තුළ වගාව ප්‍රචලිත කිරීම සඳහා තරුණ ප්‍රජාවට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් අපි වෙන් කර තිබෙනවා.