Spread the love


නිමල් රාජපක්ෂ-

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ට රුපියල් මිලියන 30 ආධාර මුදලක් තවත්මාස 18ක් දක්වා ලබා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

පසුගියදා මෙරටට පැමිණි ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser මහතා, කෘෂි විද්‍යාඥ Karishma Wash මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් මෙරටට ලබාදෙන ලෙස, අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙම වර්ෂයේ මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් එකඟතාවය පළ කළේය.

මේ යටතේ කෘෂි අංශ නවීකරණ ආදර්ශ ගම්මාන දිස්ත්‍රික්ක 25 තුළම විවිධ බෝග වර්ග ඉලක්ක කර ගනිමින්, ආරම්භ කෙරේ. එමෙන්ම අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් ආදර්ශ ගම්මානයක් ද, මඩකලපුව සහ සෙවනගල ප්‍රදේශවල අපනයනය ඉලක්ක කර ගත් කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති දෙකකුත් ආරම්භ කිරීමට නියමිතය. මෙම කටයුතු ඉදිරි මැයි මාසය තුළම ආරම්භ කිරීමට කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය දැනටමත් සැලසුම් කර ඇත.
රාජාංගණය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය මෙන් ඇඹිලිපිටිය හා හම්බන්තොට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් තවත් වගා ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත. ගොවිජනතාවට නව තාක්ෂණය හඳුන්වාදෙන අතරම, අවම බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වගාවන් සිදු කිරීම, ලෝක වෙළඳපොල ප්‍රමිතිය අනුව නිෂ්පාදනය කිරීම සහ ගොවි ජනතාව නව තාක්ෂණයට හුරු කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් දැනටමත් ඉතා සාර්ථකව සිදු කරන බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේය.