Spread the love

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප ආනයන මත යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි.

මෙරට විදේශ ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලය ලැබී ඇති බවත්, 2035 වන විට මෙරට ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීම එහි කොන්දේසියක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්නේ එම ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් බවද අවධාරණය කළේය.

AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්‍යාර්ථයන් එක්ව සකස් කළ යෝජනාවලිය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

විශ්වවිද්‍යාල කිහිපයක් විසින්ම AI තාක්ෂණය භාවිතයෙන් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් විද්‍යාර්ථයින් එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ඉලක්ක පිළිබඳව ද ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ශ්‍රී ලංකාවට තාක්ෂණයෙන් ඉදිරියට යාමට සිදු වෙනවා. නවීන තාක්ෂණය අතින් අප සිටින්නේ බොහෝ පසුපසින්. අප තාක්ෂණ දැනුම ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ප්‍රමාණවත් අයුරින් යොදා ගන්නේ නැහැ. දැන් තිබෙන අලුත්ම තාක්ෂණය AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධියයි. අපට ඒ සම්බන්ධයෙන් පසුගාමී විය නොහැකියි.