Spread the love

උදෑසන රැස්වීම පැවැති අවස්ථාවේදී කෑ ගසා ජාතික ගීය ගායනා කළැයි උරණවී 09 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ හිසට පහර පිට පහර ගැසූ බව කියන හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හංවැල්ල පොලීසිය පවසයි.

පාසලේ ප්‍රධාන රැස්වීම පැවැති ඊයේ 14 පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, එම ගුරුවරයා රැස්වීමෙන් දරුවා පසෙකට ඇදගෙන ‘සද්දේ මදි. තවත් හයියෙන් කෑ ගහලා කියන ලෙසට කියමින්’ හිසට පහර පිට පහර ගසා ඇති බව දරුවාගේ මව කළ පැමිණීල්ලේ සදහන්ව ඇතැයි පොලීසිය පවසයි.

පාසල නිමවීමෙන් පසු නිවසට ගොස් ඇති දරුවා හිසේ කැක්කුම බව කියමින් මවට සිදුවීම පවසා ඇති අතර පසුව අවිස්සාවේල්ල මූලික රෝහලට දරුවා ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ස්ථානීය පරික්ෂණය සදහා අද (15) දින එම පාසලට නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබූ බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුව ඇති බවත් පසුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලීසිය සදහන් කරයි.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ඉකුත් සැප්තැම්බර් මස පැවැති ප්‍රදර්ශනයකදී මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක රෝබෝ යන්ත්‍රයක් ද නිෂ්පාදනය කර ඇති මෙම සිසුවා ගණීත ඔලිම්පියාඩ් පදක්කම්ලාභී ශිෂ්‍යයෙක් වන බවද වාර්තා වෙයි.