Spread the love

ශ්‍රි ලංකා වරාය අධිකාරිය සතු කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය කැමැත්ත පල කර ඇති බව ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.

මහකොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්චාවකදී මෙම කරුණු හෙලි විය.

මෙම සංවර්ධන වැඩ පිලිවෙල යටතේ වරාය තුලට විශාල නැව් සහ යාත්‍රා ඇතුලු කිරීමට මීටර් 30ක් පමණ වරාය පතුල ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී මහකොමසාරිස්වරයා කියා සි‍ටියේ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර කලාපීය සහයෝගිතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. එමෙන්ම ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රි ලංකාව බව ඉන්දියානු රජය විසින් නම් කර ඇති බවද හෙතෙම පැවසීය.

ගුවන් හා නාවික ක්ෂේත්‍රයන්හී දී ඉන්දියානු රජය විසින් ශ්‍රි ලංකාවට ලබා දෙන සහයෝගය පිලිබඳව ශ්‍රි ලංකා රජයේත්, තම අමාත්‍යංශයේත් කෘතවේදී භාවය පල කරන බවත්, විශේෂයෙන් චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ඉතාමත් ප්‍රශස්ත කරුණක් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඉන්දීය සංචාරයින්ගේ පහසුව සඳහා රුපියල් මිලියන 600ක වියදමකින් නවීන පර්යන්තයක් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේ ඉදි කල බව පැවසු අමාත්‍යවරයා පසුගිය මාස 09 ක කාලය තුල ඉන්දියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් ශ්‍රි ලංකාවට පැමිණ ඇති බවද අවධාරණය කලේය.

එබැවින් ඉන්දියානු රජය විසින් ලබා දෙන මෙම ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානය උපයෝගී කර ගනිමින් කඩිනමින් කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා මහකොමසාරිස්වරයාට පැවසීය.