කටාන ගුවන් නගරයක් ලෙස ඉදිරි දස වසර තුළ සංවර්ධනය කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සකස් කර තිබේ.
කෙටුම්පත් කරන ලද කටාන නගර සංවර්ධන සැලැස්ම සදහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම පසුගියදා (17) සිකුරාදා නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
කටුනායක සීදුව නගර සභාව සහ කටාන ප්‍රාදේශීය සභාව යන බල ප්‍රදේශය 2 සදහා කටාන නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.
විෂය භාර අමාත්‍යවරයා නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.
කටාන නගර සංවර්ධන සැලැස්මේ දැක්ම වන්නේ “ගෝලීය ගුවන් පුරය හා බැදි සුවපහසු නාගරික පුරවරය” යන්නයි. ආර්ථික හා සංචාරක සංවර්ධනය, ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය යන ප්‍රධාන උපාය මාර්ග මූලික කර ගනිමින් කටාන නගර සැලසුම ක්‍රියාවට නැංවේ.
කටාන නගරය අන්තර් පළාත් සම්බන්ධතා ප්‍රවර්ධන නගරයකි. කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ රාගම – පුත්තලම දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ මෙම නගරය හරහායි. මෙම බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 107 කි. මෙහි නේවාසික භූමි ප්‍රමාණය 55% කි. කෘෂි කාර්මික කටයුතු සදහා වෙන්ව ඇති භූමි ප්‍රමාණය 21% කි. ග්‍රාම නිළධාරී වසම් ගණන 79 කි. මුළු ජනගහනය දෙලක්ෂ පනස් තුන් දහසකට ආසන්නය.
කටුනායක වෙළද කලාපය, කටුනායක ගුවන්තොටුපළ, මීගමුව කලපුව, මුතුරාජවෙල අභය භූමිය ඇතුළු වටිනා ස්ථාන රැසක් මෙම බල ප්‍රදේශය තුළ පිහිටා තිබේ.