Spread the love

උතුරු මුහුදු සීමාවේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් 25 අලුයම පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් අවසන් විය.

මේ අතර සෑම වසරකම කච්චතිව් දේව මංගල්ලය වෙනුවෙන් වැඩිම බැතිමතුන් පිරිසක් ඉන්දියාවෙන් සහභාගී වුවද මෙවර වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් ඉන්දීය ධීවරයින් සහභාගී නොවීමද විශේෂත්වයකි.

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීම සහ ඉන්දීය ධීවරයින් සිරගත කිරීම ඇතුලු චෝදනාවන් කිහිපයක් එල්ල කරමින් කච්චිතිව් වාර්ෂික දේව මෙහෙය වර්ජනය කිරීමට ඉන්දීය බැතිමතුන් පියවර ගෙන තිබුණි.

යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ඇතුලු දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සංවිධායක දායකත්වයෙන්,නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් සහ ආරක්ෂාවෙන් මෙරට බැතිමතුන් 4500 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් අවසන් දේව මෙහෙය පැවත්වුණි.

අවසන් දේව මෙහෙය වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.