Spread the love


නිමල් රාජපක්ෂ-

වර්ෂ 1756 දී ලන්දේසින් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් නැවත නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත අද (29) නිල වශයෙන් භාර දුන් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ නෙදර්ලන්ත තානාපති HE Bonnie Harbach මහත්මිය සහ Jan de Hond මහතා විසින් මෙම කෞතුක භාණ්ඩ සහිත බහාලුම්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාර දීම සිදු කළහ.


ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රාජකීය රන් පිහිය, රාජකීය රිදී කස්තානය, මහ තුවක්කු දෙකක් මෙම කෞතුක භාණ්ඩ අතර පවතින අතර,කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිතව මේ වන විට තැන්පත් කර ඇති අතර, දෙසැම්බර් 05 වන දින පෙ.ව 9.30 සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයක් මඟින් මහජනතාව වෙත මෙම භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.