Spread the love

මෙතෙක් ඌරන්ට ආහාර පිණිස යෙදවූ පිරිමි කුකුළු පැටවුන් 50,000ක් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරියි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල බිහි කරනු ලබන පිරිමි කුකුළු පැටවුන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට කෑම සඳහා යොදන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිනි.

මෙම සතුන් සතිපතා 5000ක් බැගින් ඒ අන්දමට ඌරු ගොවිපොළවලට ලබා දී ඇත.

මෙම සතුන් දැනට රැකියා විරහිතව සිටින පුද්ගලයින්ට නොමිලයේ ලබා දී ඔවුන්ගේ දෛනික ආදායම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙතෙක් සතියකට පිරිමි කුකුළු පැටවුන් 5000ක් බැගින් ඌරන්ගේ ආහාරය සඳහා යොදවා තිබු අතර එම සතුන් මස් පිණිස කුකුළු පාලනය සඳහා කැමැති පුද්ගලයින් අතර බෙදා දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පියවර ගත්තේය.

මේ වනවිට පිරිමි කුකුළු පැටවුන් 50,000ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මස් පිණිස සත්ව පාලනයට කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර බෙදා දී ඇති බව එම මණ්ඩලය පවසයි.

මේ අතර ජාතික හදබිම අධිකාරිය විසින් ද බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ගම් කිකිළියන් නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ යටතේ මෙම වසර තුළ ගම් කිකිළියන් 20,000ක් අඩු ආදායම්ලාභී පවුල් අතර බිත්තර කර්මාන්තය ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් වශයෙන් බෙදා හැර ඇත. ඒ යටතේ එක් පවුලකට ගම් කිකිළි පැටවුන් 10ක් හා 20ක් වැනි ප්‍රමාණවලින් ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට එම වැඩ පිළිවෙළ යටතේ බෙදා දුන් කිකිළියන් ගේ බිත්තර වෙළෙඳපොලට පැමිණෙන අතර එම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින්හට අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබී තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ජාතික හදබිම අධිකාරිය විසින් පශු සම්පත් සංවර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (11) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එහි දී මෙම කරුණු අනාවරණය කරනු ලැබීය.