Spread the love

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට මාසයකට පමණ ඉහත දී මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි.

මේ වන විට වානිජ මට්ටමේ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව සඳහන් කරන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා, එම පරීක්ෂණ කාලය තුල පමණක් රුපියල් මිලියන 1000 ක වටිනාකමින් යුත් විදුලි බලයක් උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට එක් කිරීම ට හැකි වූ බව ද කියා සිටියි.

මේ වන විට සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී තිබෙන බවත් එළඹෙන අප්‍රේල් 24 දින විවෘත කිරීම ට සැලසුම් කර තිබෙන බව ත් හෙතෙම කීය.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ නේවාසික ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට එක්කිරීම වන බව යි.

එමෙන්ම කෘෂිකාර්මාන්තය සහ පානීය ජලය සැපයීම ද අනෙකුත් ප්‍රධාන අභිලාෂයන් අතර වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

එම ටර්බයින යන්ත්‍ර දෙකේ මෙගාවොට් 60 බැගින් වෙන් වෙන් වශයෙන් ජල විදුලබලය නිෂ්පාදනය වන අතර, ඒ අනුව මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් මේ හරහා ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ. මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය අධිබලැති විදුලි රැහැන් කුළුණු 65 ක් ඔස්සේ කිලෝමීටර් 23 පමණ දුර බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලි බල පද්ධතිය ට සම්බන්ධ කෙරේ.

විදුලිබල උත්පාදනයෙන් පසු එම ජලය තවත් කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ අලිකොට ආර ජලාශය වෙත ගෙන ඒම සිදුකෙරේ. අනතුරු එම ජලය හඳපානාගල හා කුඩාඔය ජලාශ දක්වා රැගෙන එනු ලැබේ. ඒ මගින් පැරණි කුඹුරු හෙක්ටයාර් 1500 ක් සහ නව කුඹුරු හෙක්ටයාර් 4500 ක් ලෙස දළ වශයෙන් කුඹුරු අක්කර 15000 කට පමණ යල සහ මහ දෙකන්නය සඳහාම ජලය සැපයීම සිදුකෙරේ.

කිරිඳිඔය ද්‍රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල හා මොනරාගල, හා බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද පූර්ණ කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.