Spread the love

නිමල් රාජපක්ෂ-


නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වලට මෙන්ම උතුරේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු රජයේ පූර්ණ සහය ලබා දෙන බව නව ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා ( Santosh Jha) මහතා පැවසීය.
ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙම කරුණු අවධාරණය කලේ ඊයේ(28) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාවේදීය.
‍අමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම සාකච්චාවේදී පලාලි ගුවන්තොටුපල, කන්කසන්තුරේ වරාය, තලෙයි මන්නාරම් වරාය සහ ත්‍රිකුණාමල යන වරායන්හි සංවර්ධන කටයුතු පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා කලේය.
මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ , ශ්‍රි ලංකාවේ නාවික සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්ට අවස්ථාවන් ලබා දීමට වර්තමාන රජය කැමැත්තෙන් සිටින බවයි.
විශේෂයෙන් නැව් සහ කුඩා යාත්‍රා ඉදිකිරීම් කටයුතු සඳහා කර්මාන්ත ශාලා පිහිටුවීමට ත්‍රිකුණාමල වරාය ප්‍රදේශයේ ඉඩ කඩ ලබා දීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ සියලු වරායන් සම්බන්ධ කර ගනිමින් සංචාරක යාත්‍රා ( ෆෙරි) සේවාවක් ආරම්භ කිරීමේ හැකියාව පිලිබඳව කරන ලද යෝජනාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වූ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ජා කරන බව අමාත්‍යවරයාට පැවසීය.
මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියේ, ශ්‍රි ලංකාවේ පුනර්ජනනීය බල ශක්තිය නිපදවීම සඳහා ව්‍යපෘති කීපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ඉන්දියානු තාක්ෂණය සහ ආයෝජකයින් ලබා දීමට හැකියාව ඇති බවයි.
අසල්වාසී රාජ්‍යන් දෙකක් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතීතයේ සිට සහෝදරත්වයෙන් බැදී සිටි බවත් එය තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටේ නායකයින් වන ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී , ශ්‍රි ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව මහ කොමසාරිස් සංතෝෂ් ජා ( Santosh Jha) මහතා පැවසීය.
මෙම සාකච්චාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙලඳ කටයුතු පිලිබඳව පළමු ලේකම් ඉරීනා තාකූර් ( Irina Thakur) යන මහත්ම මහත්මීහු සහභාගිවුහ.