Spread the love

රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව සහ අධිකරණ සේවාවල වාහන සහ ඉන්ධන වියදම් තවත් අවම කිරීමට රාජ්‍ය පරිපාලන, ස්ව​දේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සූදානම් වෙයි.

ඒ අනුව වාහන සහ ඉන්ධන සීමා කරමින් නිකුත් කර ඇති විවිධ චක්‍රලේඛ, උපදෙස් වෙනුවට එක් චක්‍රලේඛයක් නිකුත් කර නියාමනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වූ නිර්දේශ ලබාගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රන්ජිත් ​අශෝකගේ ප්‍රධානත්වයෙන් පත් කළ නව දෙනකුගෙන් යුත් කමිටුවේ වාර්තාව විෂය භාර ඇමැති අගමැති දිනේෂ් ගුණවර්ධනට දී ඇත. එම වාර්තාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතය.

රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, ව්‍යවස්ථාපිත ආයතන, අධිකරණ සේවය, ත්‍රිවිධ හමුදාව හා පොලිසියට බල පැවැත්වෙන පරිදි වාහන හා ඉන්ධන භාවිතය සීමා කරන බව එම වාර්තාවේ සඳහන් වෙයි. මෙම ක්ෂේත්‍රවල නිල වාහන හිමිකම් සහිත නිලධාරින් ඇතැම් අවස්ථාවලදී වාහන අවභාවිත කර ඇති බව අනාවරණ වී තිබේ. ත්‍රිවිධ හමුදා නිලධාරින් සඳහා වාහන හා ඉන්ධන වෙන් කිරීම සිදුවන්නේ 1988 නිකුත් කළ අමාත්‍ය මණ්ඩල උපදේශයකට අනුවය.

නිල වාහනයක් හිමි එක් නිලධාරියකු සඳහා එක් නිල වාහනයක් පමණක් දීමට කමිටුව නිර්දේශ කර ඇත. නිල වාහන භාවිතයේදී අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වාහන වෙනුවට​ ඉන්ධන අරපිරිමැස්මක් සහිත එන්ජින් ධාරිතාව 1600 CC මට්ටමට අඩු වාහන භාවිත කිරීම සඳහා සීමා පැනවීමටද සැලසුම් කර ඇත.

ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන සියලු කාණ්ඩවල නිලධාරින්ගේ නිල වාහන හා ඉන්ධන දීම සඳහා පොදු චක්‍රලේඛයක් අමාත්‍යාංශය මගින් නිකුත් කෙරෙන අතර ඊට රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා අධිකරණ සේවයද ඇතුළත් වෙයි. වාහන හිමි හා ඉන්ධන වෙන් කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ප්‍රකාශයට පත් කර තිබෙන උපදෙස් හා චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කිරීමටද නිර්දේශ කර තිබේ. මේ වන විට රජයේ වාහන අනූදහසක් පමණ ඇති බවද අනාවරණ වෙයි.