Spread the love

මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු (23) අත්අඩංගුවට ගත් බවට නවික හමුදාව පැවසීය.

උතුරුමැද නාවික විධානය මඟින් සිදුකරන ලද සෝදිසියකදී මන්නාරම් උතුරු මුහුදු සීමාවේදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙක සමඟින් ඉන්දීය ධීවරයින් පිරිස මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනා තලෙයිමන්නාරම් ධීවර ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගැනුනි.

මේ අතර 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 72ක් සහ ඉන්දීය ධීවරයින් 554 ක් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.