Spread the love

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට උප ව්‍යාපෘති 8ක් නිමකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම උප ව්‍යාපෘති 8ට රථ ගාල් හතරක්,පොදු අවකාශ සංවර්ධනය, වට රවුමක් සංවර්ධනය, අර්ථකථන පුවරු සහ ඇවිදීමේ මං තීරු අලංකරණ ව්‍යාපෘතියක් ඇතුළත් වන බවයි.

තිරසාර ජලාපවාහන පද්ධති, කාර්යක්ෂම ක්ෂුද්‍ර ජල සැපයුම් මාර්ග, තණපිඩලි ඇතිරීම හා ප්‍රවේශ පත්‍ර කවුළු සහිත ස්වයංක්‍රීය ගේට්ටු වැනි හරිත සැලසුම් අංග ඇතුළත් නවීන පහසුකම්වලින් මෙම රථ ගාල් සමන්විත වේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා එළිමහන් රංග පීඨය සහ සුරපුර එළිමහන් රංග පීඨය ලෙසින් රංග ශාලා දෙකක්ද ප්‍රතිසංස්කරණය කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ අනුරාධපුර සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙම රංග ශාලා ඉවහල්වනු ඇති බවයි.

අනුරාධපුර නගරයේ ‍ඓතිහාසික සංස්කෘතික උරුමය ආරක්ෂාවන පරිදි හා එහි පූජනීයත්වයට හානි නොවන පරිදි සමබර සංවර්ධනයක් සිදුකරන බවද අමාත්‍යවරයා පවසයි.

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය හා සංවර්ධනය පිළිබඳ ප්‍රංශ නියෝජිත ආයතනය අතර ණය පහසුකම් ගිවිසුම 2016 දෙසැම්බර් 1 වැනිදා අත්සන් තබන ලදී.

කෙසේ වෙතත්, කෙවිඩ් -19 ව්‍යාප්තිය හා රටේ පැවති ආර්ථික අර්බුධ හේතුවෙන් සමස්ත ව්‍යාපෘති විෂය පථය අඩුකරනු ලැබීය. ඒ අනුව උප ව්‍යාපෘති පමණක් නිම කිරීමට තීරණය විය. එහෙත් පසුව අනුරාධපුර නගරය හා සංචාරක සංවර්ධනය සඳහා දක්ෂිණ බහුවිධ ප්‍රවාහන පර්යන්තයෙහි වැදගත්කම හඳුනාගනිමින් එය ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ රජයේ අරමුදල් භාවිත කරමින් ඉදිරි මාස දෙක ඇතුළතදී දක්ෂිණ බහුවිධ ප්‍රවාහන පර්යන්තයෙහි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරන බවයි.