Spread the love

රට තුළ පවතින වත්මන් තත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (09) ඊයේ රාත්‍රී 07.00 රට පුරා පැනවූ ඇදිරි නීතිය හෙට (11) පෙරවරු 07.00 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ මහජන ආරක්ෂක ආක්ඥා පනතේ 16 වෙනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එය  ක්‍රියාත්මක කර තිබේ.මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබේ.

මේ අතර ඊයේ රාත්‍රියේද දිවයිනේ විවිධ ප්‍රදේශ වල මහජන නියෝජිතයන්ගේ නිවාස වලට හානි සිදුකිරීම් රැසක් වාර්තා වී තිබේ.

වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට වෙඩිතැබීමක් එල්ලවී ඇතිබව පොලිසිය පවසයි.වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ.මහින්ද රාජපක්ෂ මහතාට අයත් කුරුණෑගල නිවසට යම් කණඩායමක් විසින් ගිනි තබා තිබේ.ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව තිබේ.මේ අතර මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ හා දොන් දන්දිනා රාජපක්ෂගේ සොහොන් කොත් ද අරගලකරුවන් කඩා දමා තිබේ.

අනවසරයෙන් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයට ඇතුළු වීමට කටයුතු කර අරගලකරුවන් විසුරුවා හැරීමට අවස්ථා කිහිපයකදි පොලිසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.විරෝධතාකරුවන් අරලියගහ මන්දිරය ඉදිරිපිට තවදුරටත් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට පොලිසිය අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කල බව පොලිසිය පවසයි.