Spread the love

2023 වසරේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන 08ක් ආයතන හතරක් (04) බවට පත් කොට එහි විධායක ශ්‍රේණියේ නිලධාරී මණ්ඩලය අඩු කොට සියයට පනහකින් වියදම් අඩු කිරිමට දැඩි තීන්දුවක් ගන්නා බව කෘෂිකර්ම වන ජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසියි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 08ක් ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙළ සම්බන්ධව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරිමෙන් පසු ජනාධිපතිතුමාගෙන් ඒ සදහා අනුමැතිය හිමිවු බවද පැවසුවේය.
අද දින (11) පෙරවරුවේ අගුනකොළපෑලැස්ස පිහිටි තම කුඹුරු ඉඩම අස්වැද්දිමේ වැඩ සටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. බීජ වැපිරීම සඳහා නව සීඩර් යන්ත්‍රයක් අත්හදා බැලීම අද දින අමාත්‍යවරයාගේ කුඹුරේ දී සිදු කෙරිනි. එම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඒ අනුව දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතන වන මිල්කෝ ආයතනය හා පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එක් ආයතනයක් බවට පත් කෙරේ. එමෙන්ම පොහොර බෙදාහැරීම සඳහා පවතින සමාගම් දෙකක් වන ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම එක් සමාගමක් බවට පත් වේ. මීට අතරව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය සහ අනුරාධපුර පසු අස්වනු තාක්ෂණික ආයතනයත් එක් ආයතනයක් බවට පත් කෙරේ. එමෙන්ම ලංකා හදබිම අධිකාරිය හා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයද එක් ආයතනයක් බවටත් පත් කෙරේ.

රජය විසින් රාජ්‍ය වියදම් කළමනාකරණය සදහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිය පරිදි මෙම වැඩ පිළිවෙළ මගින් ආයතන 08ක් ආයතන හතරක් බවට පත් වෙන අතර සභාපතිවරු, උපසභාපතිවරු, මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල ද ඊට සාපේක්ෂව අඩු වේ. එමගින් මෙතෙක් ආයතන 08ක් සදහා ගිය වියදම් සියයට 50කින් අවම කර ගැනීමට හැකි වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එකම විෂයක් යටතේ ආයතන දෙකක් එකම අමාත්‍යාංශයක් යටතේ පැවතීම මහජන මුදල් කාබාසිනියා කිරීමක් වේ.

එම නිසා රජයේ මුදල් කළමනාකරණය සඳහා මෙම තීරණය ලබන වසරේ දී ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.