Spread the love

ආපදා වලින් විපතට පත් වූවන්ට දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නැති හෙයින් වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස් කර සහනාධාර මුදල වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී රජයෙන් ඉල්ලීමක් කළේය.

එක පවුලකට ලැබෙන රුපියල් 400 මුදල ප්‍රමාණවත් නැතැයි ද ඔහු කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවැසුවේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.

ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. මේ ජනතාවට ප්‍රමාණවත් සහන කෙටි කාලයක් තුළ සපයන්න පියවර ගන්න. බොහෝ දෙනාට ආහාර ඇඳුම් පැළඳුම් සියලු දේ අහිමි වෙලා තියෙනවා. මේ අය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අමතර ලක්ෂ දහයක් යවල තියෙනවා. ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

චක්‍රලේඛයේ සඳහන් මුදල් සොච්චම ප්‍රමාණවත් නැහැ. ඒකෙන් විපතට පත් වෙච්ච ජනතාවට කන්න දෙන්න බැහැ. එක වේලක්වත් දෙන්න බැහැ. මේ චක්‍රලේඛය වහාම වෙනස් කරන්න ඕනෑ. සහන ලබාදීමේ මුදල වැඩි කිරීමට කටයුතු කරන්න ඕනෑ.

අපේ රටට රේඩාර් පද්ධතියක් ලැබුණා. ඩොප්ලර් රේඩාර් පද්ධතිය. තාම මේක හයි කරගන්න බැරිවෙලා තියෙනවා. මොකක්ද ඒකට වුණේ? සහන ලබාදීමේ වැඩපිළිවෙළ සහමුලින්ම වෙනස් වෙන්න ඕනෑ. ක්‍රමවත් ආපදා කළමනා කරණ වැඩපිළිවෙළක් සකස් කරන්න. මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය බරපතළයි.