Spread the love

මෙරටට ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 1500ක් පමණ මේ වනවිට වැසී ගොස් ඇතැයි පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළේය.

එම සංගමය සමග අද දින (11) කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කළේය. එම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශණ යාපා හා විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු මෙන්ම පොල් සංවර්ධන මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල ඉහළ නිලධාරිහු ද සහභාගි වූහ.

අප රට තුළ දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 2800ක් පමණ ඇති අතර ඉන් 1500ක් පමණ වැසී ගොස් තිබේ. මෙම පොල්තෙල් කර්මාන්ත ශාලාවලින් ලියාපදිංචිව ඇති ප්‍රමාණය 225කි.

කෙසේ වුවද අප රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 240,000කි. RBD හෙවත් Refining, Breeching and Deodorizing පොල්තෙල් කිලෝ 17,775,983ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7891කි.

අප රටේ නිෂ්පාදනය කළ හැකි පොල්තෙල් ප්‍රමිතියෙන් තොරව වෙනත් රටවලින් ආනයනය කිරීම නතර කර දෙන ලෙසත් දේශීය කර්මාන්තය නඟා සිටුවීමට පියවර ගන්නා ලෙසත් එම සංගමය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේය.

අපේ රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03කි. සමස්ත පොල් පරිබෝජනය ගෙඩි මිලියන 1800කි. අපනයනය කරන පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 1000කි.

දේශීය වශයෙන් වගා කරන පොල්වලට මෙන්ම පොල් සංවර්ධන මණ්ඩලය හා පොල් සංවර්ධන අධිකාරිය සතු පොල්ඉඩම්වල පොල් වගාවන්ට වසර හයකින් පොහොර යොදා නැති බවත් මේ නිසා එම ඉඩම්වල ඵලදාව දෛනිකව අඩු වෙමින් පවතින බවත් හෙළි විය.

මෙරටට ආනයනය කරන පොල්තෙල් යනු නියම පොල්තෙල් නොවන බවත්, පාම් තෙල් හා පාවිච්චි කරන ලද තෙල් ( Crude Oil) මහා පරිමාණ වශයෙන් මෙරටට ආනයනය කිරීමට අවසර දීමත්, එම තෙල් පිරිපහදු කොට විවිධ නම් භාවිතා කරමින් වෙළෙඳපළේ අලෙවි කරන බවත් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම කාරණය සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන ලෙසත්, දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.