Spread the love

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති පිරිසකට එම ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ව්‍යාපාර කටයුතු අවසන් කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති පිරිසට එලෙස සිය ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ. 

එම පිරිස ඒ බව සනාථ කළ හැකි ලේඛන නොවැම්බර් 30 වන දිනට ප්‍රථම මාර්ගගත ක්‍රමය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වනවා.

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් පළමුවනදා සිට මෙම වසරේ මාර්තු 31වනදා දක්වා 2023 – 2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමු කිරීමේ පහසුකම www.ird.gov.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම වෙනුවෙන් පසුගිය වසරේ දී හඳුන්වා දෙනු ලැබූ ටින් අංකය යටතේ 2023 – 2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව අට ලක්ෂ 68,009ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වර්ෂයකට රුපියල් දොළොස් ලක්ෂයකට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කර බදු ගෙවිය යුතුයි.

එහෙත් වාර්ෂික ආදායම හෝ ලාභය දොළොස් ලක්ෂයට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නැතැයිද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසළකා හැරිය හැකියි.

තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගත ක්‍රමය භාවිත කරමින් දෙපාර්තමේන්තු වෙත ඉදිරිපත් කළ යුතුයි..

යම් පුද්ගලයෙකුට ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් ගෙවීමට අපහසු තැනක් වේ නම් ඊටද අවස්ථාව සලසා ඇත.

ඒ අනුව සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වෙනස්වීම් කළමනාකරණ අංශය, මධ්‍යම ලේඛන කළමනාකරණ අංශය හෝ බිම් මහලේදී හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ඒ සඳහා අවශ්‍ය සහය ලබා ගැනීමේ පහසුකමද සලසා ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.