Spread the love

සමනල වැවේ එක දිගට වසර 30ක් තිස්සේ පතින ජල කාන්දුවේ අනතුරුදායක බව ගැන භූවිද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ.

සමනල වැව වේල්ලට පහළ ප්‍රදේශයේ පවුල් 2000ක් පමණ ජීවත්වන පසුබිමක මෙම අනතුරුදායක තත්ත්වය ගැන අවශ්‍ය ක්‍රියා මාර්ග දැන්වත් ගැනීමට හැකිදැයි සොයා බැලීමටද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී තීරණයකට එළඹ තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණයට එළඹ තිබේ.

එමෙන්ම කැලණි ගඟ සහ කළු ගඟ දෙපස බි්‍රතාන්‍ය සමයේ පටන් පවතින පැරණි බැමිවලද අනතුරුදායක බව පෙනී ගොස් ඇති නිසා සියලු ආයතන එක්වී වේලි ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගත යුතු බව ද සඳහන් කර තිබේ.

සමනල වැවේ ඉකුත්දා ජල මට්ටම අඩුවීමත් සමග එහි තිබූ සිදුරු කිහිපයෙන් ප්‍රධාන සිදුරු හඳුනා ගැනීමට හැකිව ඇතත් එහිලා ලංකා විදුලි බල මණ්ඩලය නිසි පියවර ගෙන නැති බව ද එහිදී හෙළිවී තිබේ.

මේ අතර කොළඹ නගරය විටින් විට ජලයෙන් යටවීමට පිළියම් යෙදීමට කොළඹ නගර සභාව හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අතර සම්බන්ධීකරණයක් නොමැති වීම ගැන ද එහිදී කරුණු හෙළිවී තිබේ. ඒ අනුව අවශ්‍ය නඩත්තු කරලීමට කාරක සභාවේ සභාපතිවරයා කොළඹ නගර සභා නිලධාරීන්ට නිර්දේශ කර තිබේ. එහිලා තම සැලසුම් ඉදිරිපත් කරන ලෙස ද නගර සභාවට උපදෙස් දී තිබේ.