Spread the love

අයහපත් කාලගුණයත් සමගින් දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගතවූ පැය 24 දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමිව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලට ඉතා තද වැසි සමඟ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

අලුයම 1ට පමණ අවිස්සාවේල්ල ඇස්වතු ඔය හදිසියේ පිටාර ගැලීමෙන් පුවක්පිටිය, කැකිල්ල ප්‍රදේශයේ දී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබුණි.

ගලා ආ සැඩපහරත් සමඟ නිවසේ දොර විවෘත කර ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් නිවස තුළම මියගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පුද්ගලයෙක්, 36 හැවිරිදි ඔහුගේ දියණිය හා ඇයගේ 7 හැවිරිදි දියණිය බවය.

එමෙන්ම, අවිස්සාවේල්ල – හේවාඉන්න ප්‍රදේශයේදී අලුයම සිදුවූ නායයාමකින් 11 හැවිරිදි දැරියක් ද මියගියාය.

වර්ෂාවත් සමඟ දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස කොටසට පස් කන්දක් කඩාවැටීමෙන් කුරුඳු තලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊට යටවී මියගොස් තිබුණි.

මියගිය දෙදෙනා අවුරුදු 20 සහ 27 වයස්වල පසුවන අතර තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

නොනවත්වා ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ නිරිතදිග කොටසේ කළු, කැලණි, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගා ඇතුළු ගංගා රැසක් මේ වනවිට පවතින්නේ පිටාර ගලමිනි.

කැලණි ගඟෙහි ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ අලුයම 3 සිට ඉදිරි පැය 48 සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව අද දහවල් වනවිට කැලණි ගඟෙහි නාගලගංවීදිය සහ හංවැල්ල ජලමාපක සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගියේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම ඉහළ දමමිනි.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් මල්වාන නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය.

අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම ද ජලයෙන් යටවිය.

මේ අතර කළු ගඟේ සියලු ජලමාපක මේ වනවිට සාමාන්‍ය මට්ටම ඉක්මවා ගොස් තිබේ.

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඒ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල – කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අයුරු දක්නට ලැබුණි.

රත්නපුර නගරයේ සීවලී ක්‍රීඩාංගණය ඇතුළු කඩ සාප්පු, නිවාස ගංවතුරට හසුවී ඇති අතර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන මාර්ග තුනම ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවිය.

එමෙන්ම රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය ගැටහැත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවිය.

රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයට ගල්කඩුව ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටි ගමනාගමනයට බාධා එල්ලවෙද්දී එම මාර්ගය කොටඹේ හා මෝදර ප්‍රදේශවලින් ජලයෙන් යටවී තිබුණි.

මේ අතර නිල්වලා ගඟ සහ කිරමආර ඔය මේ වනවිට ප්‍රදේශ රැසකින් පිටාර ගැලීම ආරම්භ වී තිබේ‍.

ඒ අනුව පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත. මේ අතර ගිං ගඟ බද්දේගම සහ තවලම ජලමාපක සුළු ගංවතුර මට්ටමක පවතින අතර ඒ ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවිය.

ඒ අනුව මේ වනවිට ගාල්ල – බද්දේගම මාර්ගය , ගාල්ල – බටුවන්ගල මාර්ගය සහ ගාල්ල -මාපලගම මාර්ගය ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතී.