Spread the love

වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක් ද යන්න පිළිබඳ අවධානයෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අයවැය හරහා තම සංගමය සමග එකඟ වූ කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බව එම සංගමය සඳහන් කළේය.

අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එම අදහස් පළ කළේය.

“මේ අයවැය ලේඛනයේ බැලූ බැල්මට පෙනෙන දෙයක් තමා අපිට දුන්න පොරොන්දු සහ අයවැයේ එළියට කියවුණ දේ අතර විශාල හිඩසක් තියෙනවා කියන එක. ඒ පරතරය සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක් බලධාරීන්ගෙන් එන්නේ නැහැ. මොකද අපි කිව්වේ වෛද්‍යවරුන්ට ආර්ථික කෘර්තිය ඉටුකරන්න. ඒකට උත්තේජනය අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන විදියේ විසඳුමක් අයවැය හරහා ප්‍රකාශයට පත්වෙලා තියෙනවා කියලා අපිට බැලූ බැල්මට පේන්නේ නෑ. නමුත් ඍජු ලෙස වෛද්‍යවරුන්ට ආර්ථික කෘර්තිය ඉටුකිරීම කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි මේ ලේඛන තුළ දැනට එළියට ඇවිත් තියෙන කාරණා අනුව පැහැදිලි නැහැ කියන එක තමා අපිට බැලූ බැල්මට පේන්නේ. අපි ඉදිරි දින කිහිපය තුළ බලධාරීන්ගෙන් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන් විදියට අපි තවදුරටත් ඉවසීමෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා මේ දවස් දෙක තුන කාලයේ මොකද්ද බලධාරින්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කියන කාරණය. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන අපේ ඉදිරි ක්‍රියාමාර්ග මධ්‍යම කාරක සභාව රැස්කරලා තීරණ ගන්න නියමිතයි.”

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම ජනවාරි මස පළමු වැනිදා සිටම ක්‍රියාත්මක කරන ලෙස සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බි. මැදිවත්ත මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.