Spread the love
  • ඉඩම් ගැටළුව කියන්න ගියාම නිලධාරීන් කුණුහරපෙන් බැන පන්නාගෙන… ගිනි තියාගන්න ගහට නැග්ග   ගසින් බස්සා දිස්ත්‍රික් ලේකම් මැදිහත් වී ප්‍රශ්නයත් විසඳා වියලි ආහාර මල්ලකුත් දීලා…

කලක් තිස්සේ තම ඉඩම සම්බන්ධයෙන් පවතින ආරවුලකට විසදුම් ලබා ගැනීම සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගියද එහි නිළධාරීන් ඊට නිසි විසඳුමක් ලබා නොදී අවස්ථා කිහිපයකදිම තමන්ට බැන වැදී එළවාගත් බව පවසමින් 40 හැවිරිදි දෙදරු මවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කොහොඹ ගහක නැගී අද (23) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය.

මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ අම්බලන්තොට,කොග්ගල්ල පදිංචි 40 හැවිරිදි එච්.එම්.කුසුමාවතී නැමති දෙදරු මවකි.

“මා පදිංචිව සිටින ඉඩම සම්බන්ධයෙන් කලක සිට පවතින ගැටළුවක් නිරාකරණය කර ගැනීමට අවස්ථා කිහිපයකදිම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යයේ ඉඩම් නිළධාරීන් හමුවට ගියත් මට මගේ වැඩේ ඒ අය කරලා දුන්නේ නෑ.අඩුම මගේ දුක් ගැනවිල්ලටවත් ඒ අය කන් දුන්නේ නැතිව මට කුණු හරුපෙන් බැනලා එළවා ගත්තා.මටත් ලක්ෂයක් හමාරක් වියදම් කරනන් තිබුණන නම් මේ වැඩේ කරවා ගන්න තිබුණා. මම එදා වේල කන්න විදියක් නැතුව දරු පැටවු එක්ක අසරණ වෙලා ඉන්නේ. එහෙව් මට මගේ ඉන්න ඉඩමේ තියෙන ගැටලුව විසදා ගන්න මේ නිළධාරීන් ලඟට ගියාම බැනලා එලවා ගන්නවා. බැරිම තැන මං අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලඟට ඇවිත් මේ ගහ උඩට නැගලා විරෝධතාවයේ නිරත වුණේ. මං මැරුණත් කමක් නෑ ඉන්න අයට හරි මේ ඉඩම නිරවුල් කරගන්න ඕන නිසා“ යැයි ඇය පැවසුවාය.

පෙට්‍රල් බෝතලක් ද ඇතැතිව ගස මත සිටින ඇය…

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කාන්තාවක් විරෝධතාවයේ නිරත බවට ලද තොරතුරට අනුව හම්බන්තොට පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ අදාල ගැටලුව සඳහා විසඳුමක් ලබා දිමට දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවෙන් පසු කාන්තාව ගසින් බිමට බැස දිස්ත්‍රික් ලේකම් වරයා හමුවට ඉදිරිපත් කෙරුණි. කාන්තාව ගස උඩට නැග තිබුනේ විසඳුමක් ලබා නොදුනහොත් ගස උඩ සිටම සිරුරට පෙට්‍රල් දමා ගිණි තියා ගන්නා බව පසවමිනි. කාන්තාව අත තිබූ බෑගයේ පෙට්‍රල් බෝතලයක්ද විය.

ගසෙන් බැස දිස්ත්‍රික් ලේකම්වරයා අසලට ගිය කාන්තාව…

මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර ගෙන්  විමසීමක් කළ අතර එහිදි දිස්ත්‍රිත් ලේකම් වරයා මෙලෙස පැවසිය.

“ගසක් උඩ නැග විරෝධතාවයේ නිරත වු කාන්තාව සම්බන්ධයෙන් මට දැනගන්න ලැබුණු වහාම මං මගේ නිළධාරීන් යවලා අදාළ කාන්තාව කාර්යාලයට ගෙන්වාගෙන කරුණු සොයා බැලිමක් කළා..“

“ඒ අනුව මා අද දිනයේම මෙම ගැටලුව සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය විසඳුම ලබා දිමට පියවර ගන්නවා. ඒ වගේම මෙම කාන්තාවගේ දුක් ගැනවිල්ලට අනුව ඇයට සති කිහිපයකට සෑහෙන පරිදි වියළි සළාක පාර්සලයක්  ලබා දීමටත් අප කටයුතු කලා.“ යැයි පැවසිය.