Spread the love


අප රට තුළ ලෝකයේ බොහෝ රටවල් විසින් භාවිතයෙන් ඉවත් කරන ලද අධි අන්තරායකර පළිබෝධනාශක 40ක් භාවිතා කරන බවට පරිසර යුක්ති කේන්ද්‍රය පසුගියදා ප්‍රකාශ කරනු ලැබිනි.

මේ සම්බන්ධව තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට ද එහි සත්‍යතාවය සම්බන්ධව පරීක්ෂාකර වාර්තාවක් ලබා දෙන ලෙස ලේකම්වරයා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දුන්නේය.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ඊට අදාල වාර්තාවක් අමාත්‍යංශ ලේකම්වරයා වෙත මේ වනවිට බාර දී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අතුරු ඉදිරිපත් කිරීමකට අනුව, කෘෂිකාර්මික සහ ගෘහස්ත භාවිතය සඳහා 2023 අගෝස්තු මාසයේදී අතිශය අනතුරුදායක පළිබෝධනාශක පිළිබඳ ජාතික වාර්තාව මගින් සක්‍රිය අන්තර්ගතයන් 40ක් පමණ ලැයිස්තුගත කර ඇත.

. 2023 අගෝස්තු මාසයේ ජාතික වාර්තාව විසින් ලැයිස්තුගත කරන ලද සක්‍රිය අමුද්‍රව්‍ය 40 න් Glyphosate, Carbosulfan සහ profenophos යන ලියාපදිංචි පළිබෝධනාශක 03 පමණක් අධි අන්තරායකර පළිබෝධනාශක ලෙස ශ්‍රී  ලංකාවේ හදුනාගෙන තිබේ. මෙම පළිබෝධනාශක තුන අනුපිළිවෙළට වී වගාව, බඩඉරිඟු වගාව සහ විසිතුරු මල් වගාව යන අංශයන් සඳහා භාවිතා කරන ඒවා වේ.

මෙරට තුළ භාවිතා කෙරෙන නිර්ණායක අනුව  එම වාර්තාව දක්වන පරිදි අධි අන්තරායකර පළිබෝධනාශක  40ක් භාවිතා වන බවට කර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ද පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය පවසයි. ජාත්‍යන්තරය විසින් තහනම් කරන ලද අධි අන්තරායකර පළිබෝධනාශක භාවිතය/ බෙදාහැරීම/ අලෙවිය සඳහා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය අවසර ලබා දී නොමැති බව ද රෙජිස්ට්‍රාර්වරයා මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය