Spread the love

රටේ පවත්නා අස්ථාවර භාවය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පත් කරන ලෙස ප්‍රකාශ කරමින් ව්‍යවස්ථාදායකය සහ විධායකයට දැඩිව සිදුකරන බලපෑමක් ලෙස අද(09) දින රාත්‍රී 12.00 සිට සියලුම සාමාජිකයන් සේවා වාර වලින් ඉවත් කර ගෙන වෘත්තීය අරගලයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
මන්ද යත් ගෝල්ෆේස් පිටියෙහි සාමකාමී අරගලයක නිරතවූ ජනතාවට එල්ල කල මිලේච්ඡ ප්‍රහාරය සංගමයක් වශයෙන් අපගේ සමස්ථ සාමාජිකයන් පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අවධාරණය කරමු.
රටේ ජනතාවට ඔවුන්ගේ ආර්ථික පීඩනය සහ ජිවිත සුරක්ෂිතතාවය අහිමි වීම පිළිබඳව කරන ලද අරගලය අභියෝගයට ලක් කරමින් ගෝල්ෆේස් පිටියේ සිදු කරන ලද මිලේච්ඡ ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව හැඟී යන බැවින් ශ්‍රේණිගත ස්වාධීන වෘත්තීය සමිතියක් ලෙස අප එය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
රට තුල මේ වන විට උද්ගතවී ඇති අර්බුදකාරි තත්ත්වය නිදහසෙන් පසු 74 වසරක දේශපාලන අධිකාරිවල අඩුවැඩි සහිතව සිදු කරන ලද හොරාකෑම් සහ දුෂණ අක්‍රමිකතාවල ප්‍රතිපලයක් ලෙස අප දකින්නෙමු.
රාජ්‍ය ප්‍රවාහන ක්ෂේත්‍රයේ දුම්රියට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර රටේ ආර්ථිකයට සහ ජන ජිවිතයට එමඟින් විශාල පිටිවහලක් හා සේවාවක් ලබා දීමට හැකි බව දන්වනු කැමැත්තෙමු. එවන් ප්‍රවාහන මාධ්‍යයක ශ්‍රේණිගත වෘත්තීය සමිතියක් ලෙස ආදායම් මාර්ග ඉහළ නැංවීම ආදී කරුණු පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරියට සහ දුම්රිය දෙපාර්තමේන්තු පාලනාධිකාරිය වෙත නොයෙකුත් යෝජනා ඉදිරිපත් කල ද ඒ පිළිබඳව ධනාත්මක ක්‍රියාමාර්ග මෙතෙක් ඉටුවී නැත.
ඒ අනුව අප සියලුම සාමාජිකයන් අද දින දේශපාලනයේ නින්දිත මිලේච්ඡ ප්‍රහාරයට සහ බලලොබිකමින් නිර්පාක්ෂික අරගල වෙනත් මාවතකට යොමු කිරීමට කැසකවන ප්‍රෝඩාකාරී දේශපාලනයට රතු එළිය දල්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරයි.