Spread the love

ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 63,000ක් ඍජුවම ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඊට අමතරව කැරලි මර්දන කණ්ඩායම් 241ක් ද සුදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මීට අමතරව, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,000 ක් පොරොත්තු සේවයේ යොදවා ඇති බවත්, යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් කැඳවීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3,000කට අදාළ පිරිසක් ද මැතිවරණ රාජකාරීවල යොදවා ඇති අතර, සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 13,000ක පමණ පිරිසකගේ සහයෝගය ජංගම මුර සංචාර සඳහා ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.