Spread the love

පාසල් යායුතු වයස්වල පසුවන දරුවන් කතරගම පුදබිම ආශ්‍රිතව සිඟමන් යදින බව වාර්තා වෙයි.

තනිව හෝ මව්පියන් සමග මෙම දරුවන් සිඟමන් යැදීම සිදුකරන්නේ කතරගම දේවාලය, සෙල්ල කතරගම සහ කිරිවෙහෙර යන පූජා භූමි මුල්කර ගනිමිනි.

ඉන් ඇතැම් දරුවන් පාසල් යන අතර සෙසු බහුතරය පාසල් නොයන දරුවන් බව සඳහන් වෙයි.

කනගාටුවට කරුණවන්නේ, මුදල් උපයාගැනීම අරමුණු කරගනිමින් මව්පියන්ගේ කැමැත්ත ඇතිව මෙම දරුවන් සිඟමනේ යෙදවීමය.

කතරගම පොලීසිය විසින් අවස්ථා ගණනාවකදී මෙම දරුවන් පොලිස් භාරයට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළද ඔවුන් මුදාගෙන යළි එම රැකියාවේම යෙදවීමට මව්පියන් කටයුතු කර ඇත.

එම ප්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ, මෙම දරුවන් අතරින් පිරිමි ළමුන් පාසල් පොත් මිලදීගන්නා බවට පවසමින් වන්දනාකරුවන් මුලාකර මුදල් ඉල්ලා එම මුදල්වලින් මත්පැන් මිලදීගැනීමටත් කටයුතු කරනු දක්නට ලැබෙන බවය.

එමෙන්ම මේ වනවිට කතරගම පුදබිමේ පූජා වට්ටි වෙළෙඳසැල් තුළ, පෞද්ගලික නවාතැන්පොළවල් තුළ සහ විසිතුරු භාණ්ඩ අලෙවිසැල් තුළ දරුවන් කුලී වැඩට යොදවා ඇති අයුරුද දක්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් නිසි අයුරින් යොමු විය යුතුය.