Spread the love

පසුගිය ජුනි මාසයේදී TikTok සහ වෙනත් චීන ඇප් 58ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කළේය.

ඉන්දියාව TikTok භාවිත කරන අතර රටවල් අතර විශාලම විදෙස් වෙළෙඳපොළ ලෙස සැලකෙන අතර එරටෙහි මිලියන 120ක් TikTok භාවිත කරමින් සිටියහ.

දැන් එම හිඩැස පිරවීමට YouTube සැරසෙයි. ඒ, YouTube Shorts එළිදැක්වීම මගිනි.

YouTube Shorts හි වීඩියෝවක උපරිම කාලය තත්පර 15කි. එහි ද TikTok මෙන් විවිධ මෙවලම් ඇත. එමගින් භාවිත කරන්නාට විවිධ දේ කළ හැකිය.

මේ වනවිට, YouTube සමග තරඟවැදීමට සහ TikTok හිඩැස පිරවීමට ඉන්දියාව තුළින්ම නිර්මාණය වූ විවිධ ඇප් අතර දැඩි තරඟයක් පවතී.

YouTube හි නවතම නිර්මාණය එළිදැක්වෙන්නේ TikTok මෙවලමට එරෙහිව අමෙරිකාව ද විවිධ පියවරයන් ගනිමින් සිටින අවස්ථාවක ය.

ඒ අතර, අමෙරිකානු සමාගමක් වන ඔරකල් පැවසුවේ අමෙරිකාව තුළ TikTokහි විශ්වසනීය තාක්ෂණික සහකරුවෙක් වීමට ඔවුන් TikTokහි හිමිකාරිත්වය ඇති ByteDance සමාගමට යෝජනා කළ බවය.

මෙම සම්මුතිය ඇති වන්නේ, අමෙරිකාව තුළ TikTok තහනම් කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමත් සමගය. ජනාධිපතිවරයා පවසා ඇත්තේ TikTok තම රටෙහි ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවය.

TikTok භාවිත කරන ග්‍රාහකයන්ගේ තොරතුරු ලබාගැනීමට චීන රජයට හැකියාව ඇති බව ඔහු පවසයි.

ඉන්දියාව ද TikTok තහනම් කළේ එවැන්නක් පවසමිනි.