Spread the love

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20ෙක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවද පෙන්වා දුන්නේය.

මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ මගේ රටයි, මා ඉපදුණ රටයි, මගේ උරුමය තහවුරු කළ රටයි.අද අප මෙතනට රැස් වී සිටින්නේ මේ රටේ ජනතාව ඉඩම් අයිතිය ලබා ගැනීමට කළ අරගලය අවසන් කිරීමටයි. ඒ වගේම අද අප මේ සහභාගී වන්නේ විප්ලවීය අවස්ථාවකට. ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම අද සිදු වෙනවා. මම මෙය විප්ලවයක් කියා හඳුන්වන්නේ ඒ නිසයි.

මෙම විප්ලවය භුක්ති විදින්නේ රටේ ජනතාව. මේ ඉඩම් අයිතිය ලැබුණු විට ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ.මන්ත්‍රීවරු, නිලධාරීන් පසුපස ගිහින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඉඩම තමන්ට අවශ්‍ය පරිදි සංවර්ධනය කළ හැකි අතර කිසිවෙකුට ඊට බලපෑම් එල්ල කරන්න බැහැ.

තමන්ට ලැබෙන මෙම අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. මෙම අයිතිය තමන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් හිමි විය යුතුයි. මෙයින් නිසි ප්‍රයෝජන ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව ගණනාවක් ඇති වී තිබෙනවා. අද මේ රටේ කිසිදු විප්ලවයක් නොමැතිව ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

බොහෝ දෙනෙක් සිතුවේ මෙය කළ නොහැකි දෙයක් ලෙසයි. නමුත් අපේ ආණ්ඩුව ඒ තීරණය ගෙන කටයුතු කළා.