Spread the love

විවිධ අදහස් පැවතියද, විවිධ ආගම් සහ ජාතීන්ට මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුවද රටේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා පොදු එකඟතාවකට එක්වීමේ භාරදූර වගකීම ඉටු කිරීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රට ගොඩනැඟීමට ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කළ හැක්කේ සියලුදෙනා සමගියෙන් ඒ සමඟ එක්වුවහොත් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පදවි තානාන්තර පිළිබඳ සිහින මවන ඇතැමුන් තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව ද පැවසීය.

යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළහොත් යළි රට මහා අනතුරකට පත්වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා විවිධ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රට පිළිබඳ වගකීම පැහැර හැරියහොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් ලෙස නම් කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.