Spread the love

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයේ නිලධාරිනියක් ඇතුළු කණ්ඩායමක් රියැදුරු පුහුණු පාසල් හා තැරැව්කරුවන් සඳහා දිනකට රියැදුරු බලපත් කාඩ්පත් 400 ක් පමණ මුද්‍රණය කරමින් ජාවාරමක නිරතව සිටින බව වාර්තා වේ.

මෙකී නිලධාරිනිය එක් රියැදුරු බලපත් කාඩ්පතක් මුද්‍රණය කරදීම සඳහා රුපියල් දෙදහස බැගින් ගන්නා බවද දෛනිකව මෙම ජාවාරම සිදුවන බවට චෝදනා හා පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සිදුවන අතර දැනට යන්ත්‍ර දෙකකින් පමණක් එම කටයුතු සිදුවන නිසා දිනකට මුද්‍රණය වන්නේ බලපත් කාඩ්පත් එක්දහස් දෙසියක පමණ ප්‍රමාණයකි. මේ හේතුවෙන් එක්දින සේවා යටතේ කාඩ්පත් මුද්‍රණය කිරීමද දිනකට දෙසීයකට සීමා වී ඇත.

ප්‍රමාණවත් කාඩ්පත් නොමැතිවීම හා ලක්ෂ නවයක් ඉක්මවූ කාඩ්පත් සංඛ්‍යාවක් මුද්‍රණය කර දීමට සිදුව තිබියෙදී රියැදුරු බලපත්‍ර පුහුණු පාසල්වලින් සහ බාහිර තැරැව්කරුවන් මගින් රුපියල් දෙදහස බැගින් මුදලක් ගැනීමට රියැදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ ( එච්) අංශයේ 10 ත් 12 ත් අතර කවුන්ටර්වල සිටින නිලධාරිනියක් කටයුතු කරන බවත් කඩිනමින් එම පුද්ගලයන්ගේ බලපත්‍ර මුද්‍රණය කර දෙන බවත් වාර්තා වේ.

මෙම නිලධාරිණිය විසින් මුදල් ගනිමින් කරගෙන යන මෙම ජාවාරම ගැන මෙම කාර්යාලයේ සමහර ඉහළ නිලධාරීන් පවා දැනුවත් බවත් ඔවුන් සියලු දෙනාම පොහොසත් කිරීමද මැය විසින් සිදුකරන බවත් පැවසේ.

මෙලෙස වංචනික අන්දමින් රියැදුරු බලපත්‍ර තුන් හාරසියයක ප්‍රමාණයක් කඩිනමින් මුද්‍රණය කරදීම නිසා උදෑසන සිටම එක්දින සේවා හා විශේෂ හේතුන් යටතේ රිය බලපත් කාඩ්පත් ගැනීමට සිටින පිරිස් හට සවස් වනතුරුම රැඳී සිටීමට සිදුව ඇති ආකාරයද නිරීක්ෂණය වේ.

මෙම කාර්යාලයේ සිදුවන මෙම වංචනික ක්‍රියාව ගැන ප්‍රවාහන අමාත්‍යාංශයේත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේත් කඩිනම් අවධානය යොමු කළ යුතු යැයි බොහො දෙනෙකු ඉල්ලා සිටිති.