Spread the love

2022.10.12 වන දින සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් බලපිටිය RIU හෝටලය ආසන්නයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළව එවකට පොලිස්පතිගේ නියෝග අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

අදාළ විමර්ශනය පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ අතර එම විමර්ශනයේදී මෙම අපරාධය මෙහෙය වන ලද ප්‍රධාන සැකකරු දික්වැල්ල පොලිස් වසමේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් කරුණු අනුව වෙඩි තැබීම සඳහා යොදාගත් කාර් රථයට ව්‍යාජ අංක තහඩු සවිකරන ලද සැකකරු, අපරාධය සිදු කළ වෙිඩික්කරු සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සොයා ගන්නා ලදී.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බළකා විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුත්තක් සඳහා අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් සිටියදී සැකකරු විසින් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සිදු කරන ලද වෙඩි තැබීමකදී, ඊට විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී සැකකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.

මීට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු 2024.07.21 වන දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීම සිදු කළ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇත.

ඉහත අධිකරණ නියෝග අනුව අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙත විශේෂ කාර්ය බළකා නිලධාරින් කැඳවා වැඩිදුර ප්‍රකාශ සටහන් කර විමර්ශන ගොනුවක් සහ ඉහත නඩුවට අදාළ සියලු කාර්යය සටහන් සහිත නඩුවේ ලිපි පිටපත් සහිත ගොනුවක් ගරු නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමු කරන ලදී.

ගරු නීතිපතිවරයා විසින් ඊට අදාළව ලිපියක් යොමු කරමින් මෙම නඩු කෘත්‍යට අදාළව කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනාවක් ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු / සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් වැඩිදුර නෛතික පියවර ගැනීමට අපේක්ෂා නොකරන බවට දන්වා ඇත.

ඒ අනුව මෙම නඩුව 2024.11.05 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ නීතිපති තුමාගේ ලිපිය ඉදිරිපත් කරන ලද අතර, ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මේ සම්බන්ධව අවසන් නියෝගයක් ලබා දීම සඳහා නඩුව නැවත 2024.12.10 වන දිනට කැඳවීමට නියම කරන ලදී.

ඒ අනුව අදාළ නඩුව 2024.12.10වන දින බළපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවන ලද අතර එහිදී බලපිටිය ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කරන ලදී.

එසේම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ විසින් 2022.11.02 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසී වෑන් රථයකින් පැමිණි බවටද බොරු සාක්ෂි ලබා දී ඇත.