Spread the love

පාර්ලිමේන්තුවේදී ඊයේ (24) සම්මත කරන ලද Online Safety පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අමරිකානු රජය අද (25) සිය කනස්සල්ල පළ කර තිබේ.

මෙම පනත ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බවට පවසන සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ වැදගත් අදහස් ඇතුළත් නොකර, ඊයේ සම්මත කිරීමෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ පනත හරහා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිලි සහ පමණට වඩා සීමා සහිත නීති මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අඩාල කරන බවද, ආයෝජනයට සහ ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනයටද එය බාධාවක් විය හැකි බවද ඇය පෙන්වා දෙයි.

එබැවින් විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, කිසිදු නීති සම්පාදනයක් හරහා රටේ ජනතාවගේ හඬ යටපත් නොවන බවට සහතික වන ලෙසත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.